රුහුණු රටේ සිරි බලන්න පුළුවන් තවත් හොඳම ස්ථානයක් තමයි මේක. මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ. මාතර ටවුන් එකට නම් පොඩ්ඩ දුරයි. මාතර ප්‍රධාන බස් නැවතුම්පොලට ආපු ඕනම කෙනෙක්ට කෙලින්ම ඇහැ යන්නේ මෙතැනට තමයි. මොකද මාතර බීච් එක තියෙන්නේ බස් නැවතුමේ ඉඳන් මීටර් 50 ක් වත් නැති ඈතකනේ. කොහොම වුණත් අද වෙද්දී ලංකාවේ ඕනම කෙනෙක් මේ තැන ගැන හොඳට දන්නවා.නමුත් මෙහි ඓතිහාසික වටිනාකම ඇතුළාන්තය ගැන දන්නේ බොහොම පොඩ්ඩ දෙනයි.. ඒ නිසාම මම කල්පනා කළා මෙම ස්ථානය ගැන ටිකක් හොයලා බලන්න..
බැලූ බැල්මට ඕනම කෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත් මෙම ආකර්ෂණීය පුංචි දූපත වර්තමානයේ මාතර "රන්දූපත උපෝසථාගාර විහාරස්ථානය" නමින් හඳුන්වනවා. නමුත් මෙහි ඓතිහාසික නාමය තමයි අපි කවුරුත් දන්න "පරෙයි දූපත."
ඇයි මේකට ඇත්තටම පරෙයි දූපත කියන්නේ.?
ඒ ගැන කතා කරනවනම් මට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව දූපත වටේටම ගල්පර තියෙන නිසාවෙන් "පරයේ පිහිටි දූපත" කියලා හඳුන්වලා තියෙනවා. ඒක නම් ඇත්ත මෙතනට එන ඕනම කෙනෙක්ට බලාගන්න පුළුවන් දූපත වට කරගෙන බොහොම අපූරු ලොකු කුඩා ගල් පිහිටලා තියෙනවා. ඒ ගල් වලට මුහුදු රළ වදිනකොට මාරම ලස්සනයි. ඇවිල්ලම බලන්න ඕන ඉතින්.
දූපතේ උප්පත්තියේ ඉතිහාසය දිහා හැරිලා බලද්දි අවුරුදු දහසකටත් කලින් මෙම ස්ථානය ගොඩබිමෙන් වෙන් වූ ස්ථානයක් ලෙස හඳුනාගන්නට නොතිබුණි. එනම් ගොඩබිම හා සම්බන්ධ වෙලා තමයි තිබිලා තියෙන්නේ. අවුරුදු 600කට වගේ කලින් මෙම ස්ථානයෙහි යම් දිය අඟලක් නිර්මාණය වෙලා මුහුදු ඛාදනයත් සමගම වෙන් වෙලා දූපතක් ලෙස නිර්මාණය වෙලා තියෙනවා.ඒ වගේම, වර්ෂ 1600 වගේ වෙද්දි ඒ කියන්නේ ලන්දේසීන් මාතර බලකොටු හදන කාලේ ගොඩබිමේ සිට දූපතට දුර මීටර 10 ක් 15ක් වගේ තිබිලා තියෙන්නේ. වතුරෙන් බැහැලා යන්න පුළුවන්, ඒ තරම් සමීපයි.
වර්ෂ 1890 මෙම දූපතේ ලන්දේසි ජාතිකයන් විසින් ගත්තු ඡායාරූපයක් තියෙනවා. ඒ අනුව ඒ කාලෙදි ගොඩබිමේ සිට දුපතට දුර මීටර් 50ක් වගේ තිබිලා තියෙනවා. නමුත් අද වර්තමානය වෙද්දී එම දුර ප්‍රමාණය තවත් වැඩිවෙලා. ආසන්න වශයෙන් මීටර 108 ක් පමණ ඇතැයි සැලකේ.ඉතින්, ක්‍රමක්‍රමයෙන් දූපතේ සිට ගොඩබිමට තියෙන දුර වැඩි වෙලා තියෙන්නේ මුහුදු ඛාදනය නිසා.
දූපතේ උස කොච්චරද ?
"දූපතේ උස ආසන්න වශයෙන් අඩි 45 ක් වගේ වෙනවා." එහෙම තමයි වර්තමාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පවසා සිටියේ. තව දෙයක්, මේ ලස්සන ස්ථානය අදත් හරිම අපූරුවට ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථානයක් ලෙස රැකිලා තියෙන්නේ සැබවින්ම මෙහි ඇති අපූර්වත්වයත් සමඟයි. එනම් දුපතේ ශක්තිමත්භාවයට මෙහි භූමියෙහි විශේෂ ගල්පර සහිත කබොක් මිශ්‍ර පස, ගල්පර සෘජුවම හේතුවෙලා තියෙනවා. ඒ නිසාම තමයි මේකට පරේදූපත කියලා කියන්නෙත්.මේ දූපතෙහි ඉතිහාසය තවත් ඈතට ගෙන ගියහොත් එනම් ආදි කාලේ මේ ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ එහාට වන්නට රාවණා බැම්ම නමින් විශාල ගල්පරයක් ඉදිකරලා තියෙනවා. ඒක මීට වසර දාහකට පමණ කලින් නිර්මාණය කරන ලද කළු ගල් වැටියක් සේම ආරක්ෂිත පවුරක් ලෙස හඳුනගන්න පුළුවන්. මේ බැම්ම පොල්හේන ප්‍රදේශයේ සිට දෙවුන්දර දක්වාම විහිද යන්නකි. අවාසනාවකට වර්ෂ 2004 දී ආ සුනාමි රළ හේතුවෙන් මෙම ගල්පරය යම් මට්ටමකට කැඩී බිඳී ගොස් තියෙනවා.
ඇත්තටම මෙම දූපත කාටද අයිති?
ඒ ගැන කතා කරනවා නම් ඉතින් "නිශ්චිත අයිතිකාරයෙක් හිටියේ නෑ" නමුත්, වර්ෂ 1600 වගේ වෙද්දී ලන්දේසි පාලකයන් මාතර බලකොටු නිර්මාණය කරමින් මාතර නගරය පාලනය කළා. ඒ සමයේ පොලියර් නමින් පාලකයෙක් තමා මෙම ප්‍රදේශය පාලනය කළේ.. එනම්,එවකට මාතර පරේදූපත ද තිබුණෙ ඔහු යටතේය.යම් අවස්ථාවකදී පොලියර් පාලකයාගේ බිරිඳ අසනීප වුණා .ඔහු විසින් විදේශීය ජාතික වෛද්‍යවරුන් ලවා කොපමණ වෛද්‍ය ප්‍රතිකාර කළත් එන්න එන්නම සිදුවූයේ, රෝගය තවත් උස්සන්න වීමයි.. මෙකී කාරණාව නිසා පොලියර් මහත් කනස්සල්ලෙන් කාලය ගත කළ අතර ඔහුට දේශීය සිංහල වෛද්‍යවරයෙක් ගැන තොරතුරු ආරංචි විය. ඒ තමයි දිය ගහ රට්ඨපාල විහාරස්ථානයේ නෙළුම් වැවේ වෙද හාමුදුරුවෝ. උන්වහන්සේ සිංහල ක්‍රමයට අනුව පංචකර්ම වෙදකම් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්.ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොළියර් උන්වහන්සේව තම බලකොටුවට වැඩමවා තම බිරිඳට ප්‍රතිකාර කරන ලෙස දන්වා සිටියේය. ඒ අනුව රෝගියාව පරීක්ෂා කළ වෙද හාමුදුරුවෝ නිශ්චිතවම රෝගය හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර කළා. උන්වහන්සේ කියා සිටියේ මෙම රෝගය ඇති වෙලා තියෙන්නේ කන ලද කෑමක් අජීරණය වීමෙන් නිසාය. නිසි ප්‍රතිකාර කරමින් තම බිරිඳව සුව කළ නිසා මහත් සතුටට පත් පොලියර් පාලකයා ඔහුට අයත් පරේදුව ස්ථානය ලියවිල්ලක් මගින් මෙම වෙද හාමුදුරුවන්ට පවරා දුන්නේය.
ඒ කාලේ ඉඳන් උන්වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ වාසය කළ අතර පොලියර් පාලකයා සහ අවට සිටි මිනිසුන් උන්වහන්සේට සිව් පසයෙන් ඇප උපස්ථාන කළා. පසුකාලීනව එම හාමුදුරුවෝ යටතේ ලන්දේසි හමුදාවේ සිටිය සොල්දාදුවෙක් පැවිදි වෙලා බුදුදහම පිළිබඳව සහ සිංහල වෙදකම පිළිබඳව ඉගෙනගත්තා. ඔහුගේ පැවිදි නාමය වූයේ ජර්මනියේ වප්ප යනුවෙනි. කෙසේ නමුදු ටික කාලයක් පමණයි උන්වහන්සේට වැඩ වාසය කරන්න වුණේ. මොකද අවට සිටි මාතර වෙරළබඩ ප්‍රදේශයේ කිතුනු ලබ්ධිකයන් උන්වහන්සේ එතනින් පලවා හරින්නට යම් යම් හිරිහැර කරදර කළා. ඉතින් ඒ අනුව උන්වහන්සේ පරේදුව ප්‍රදේශය අත්හැරලා යනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් නැවත පරේදුව ප්‍රදේශය කැලෑ බද වෙන්න පටන් ගත් අතර ජනාවාසයකින් තොර ප්රාදේශයක් බවට පත්වුණා.ඔහොම තමයි ඉතිහාස කතා වල තියෙන්නේ,
ඒ වගේම වර්ෂ 1890 දී ගත් ඡායාරූපයකින් මෙම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය බවට සාක්ෂි අනාවරණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අරුම පුදුම ළිඳකුත් මෙතැන තිබිල තියෙනවා. මොකක්? අරුම පුදුම ළිදක්.? ඒ කිව්වේ කරදිය වළල්ලකින් යට වෙච්ච මෙකී ප්‍රදේශයෙහි මිරිදිය වතුර සහිත ළිඳක් එවකට සිටි ලන්දේසි ජාතිකයින් විසින් ගොඩනගලා තියෙනවලු. ඉන් ගත් ජලයෙන් අවට සිටි ජනයාගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාගෙන තියෙනවා. නමුත් වර්තමානයේ නම් එහෙම ළිඳක් හොයාගන්න ලැබිලා නෑ තාම.. හැබැයි ඒ පිළිබඳව පර්යේෂණ නම් සිදු කරමින් පවතිනවා තාමත්. බලමු තව කාලයක් යද්දි අපි හැමෝටම එහි නටබුන් බලන්න පුළුවන් වේවි.මෙකී ප්‍රදේශයේ හඳුනාගත හැකි තවත් සුවිශේෂී නිර්මාණයක් තමා නැගෙනහිර දිශාවේ පිහිටි උමග. මෙය එවකට හුදෙක් ආරක්ෂිත ගමන් මාර්ගයක් ලෙස තිබූ බවට විශ්වාස කරනවා.
මෙහි භූමි ප්‍රමාණය සාමාන්‍යයෙන් අක්කරයක් පමණ වෙනවා. ඉස්සර කාලේ කොඩි ගහ හිටවපු තැන කියලා මෙතන හඳුන්වලා තියෙනවා ඊට හේතුව මෙහි විශාල නුග ගහක් තිබිලා තියෙනවා පෙර කාලයේ. නැව් බෝට්ටු වලට පේන්න කොඩි හිටවල තියෙනවා ඒකෙ.
වර්ෂ 2000 පමණ වනතෙක්ම මෙම ප්‍රදේශය ජනාවාසයකින් තොර වූ පාළු ප්‍රදේශයක් බවට පත්ව තිබුණා.පාළු ප්‍රදේශයක් වූ නිසාම ප්‍රදේශය අවටින් අල්ලා ගන්නා විසගුරු සර්පයන් ගෙනත් දාන්න වගේම.,ඇතැම් අවස්ථාවන්වලදී සමහර මෝඩ උන්දැලා සියදිවි හානි කරගන්නත් මෙම ප්‍රදේශය භාවිතා කරලා තියෙනව කියල විශ්වාස කරනවා.
වර්ෂ 2000 වන තෙක්ම මෙම දූපත පාළුවට ගොස් තිබුණා. කෙසේ නමුදු වර්ෂ 2003 දී පමණ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවට මෙම පරේදූපත පවරලා දීලා තියෙනවා. ඒ අනුව රෝහණ මහා නිකායේ උපෝසථාගාර විහාරස්ථානය නමින් ගොඩනගන්න මහින්ද විජේසේකර ඇමතිතුමා මූලික වෙලා තියෙනවා.නමුදු මෙම සෞන්දර්යාත්මක ස්ථානය ඒ වනවිටත් ආරක්ෂා කරගන්න දිය ගහ රට්ඨපාල විහාරස්ථානයේ වැඩ සිටිය දියගහ ගුණානන්ද නායක හාමුදුරුවෝ කටයුතු කරලා තියෙනවා. උන්වහන්සේ මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලාට අයිති තැනක් හැටියට ස්ථාපිත කරන්න මාතර මහ නගර සභාව සමග වසර ගණනාවක් නඩු කියලත් තියෙනවාළු. නමුත් ඔප්පු කරන්න පුළුවන් තරම් ලියකියවිලි උන්වහන්සේ සතුව නොතිබූ නිසා නඩුව පැරදෙනවා. ඒ අනුව රෝහණ මහා සංඝ සභාවට පවරාදීමට උන්වහන්සේ කටයුතු කරනවා.
වර්ෂ 2004 වෙසක් පෝයදා පළමු වරට උපසම්පදා සීමා මාලකය නිර්මාණය කරනවා මෙම ස්ථානයේ. ඒ අනුව කෝටි තුනහමාරකට වැඩි මුදලක් වැය කරලා මහින්ද විජේසේකර මහතා මෙම ස්ථානය බොහොම ලස්සන පුදබිමක් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඉන්පසු උපසම්පදා විනය කර්ම කරන්න පටන් ගන්නවා. වර්ෂ 2004 සුනාමි ව්‍යවසනය නිසා දූපතට යන පාලම කැඩිල බිඳිලා ගිහිල්ලා තිබුණා. එය මාතර නගරය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජපන් ආධාර මත එය එල්ලෙන පාලමක් ලෙස නැවත ස්ථාපිත කළා. නමුත් නැවත 2022 වසරේදී එම පාලමත් කඩා වැටෙනවා. එය ප්‍රතිනිර්මාණය කරන්නට ශ්‍රී ලංකා හමුදාව කටයුතු කළා.
වර්තමානයේ මෙම පුදබිමෙහි නායකත්වය ගන්නේ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ, මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.උන්වහන්සේ විසින් නායකත්වය පවරන ලද ස්වාමීන් වහන්සේ නමක් මෙම ස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබනවා. ඒ අනුව වර්තමානයේදී විටියල ඉන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ස්ථානයේ භාරකාරත්වය හොබවනවා.

References : Discussion with Ven.Vitiyala Indrarathana Thero
Content Writer : Deshan Eranda
9 Comments
Beautiful Sri Lanka
ReplyDeleteReally Amazing Content 💯superb
ReplyDeleteSuper..Good job ayye🔥
ReplyDeleteSuper.
ReplyDeleteSuper 🔥🏞🏝
ReplyDelete❤️❤️
ReplyDeleteSuper.....❤❤
ReplyDeleteSuperb
ReplyDelete🔥🤍
ReplyDelete