මෙදා පාර ශ්‍රී දකුණෙන් අරන් ආවේ තවත් හරි අපූරු සුන්දර ස්ථානයක් පිළිබදවයි. ඒ තමයි මාතර තාරකා කොටුව.
කොහෙද මේක හරියටම තියෙන්නේ..?
මේ ස්ථානය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. හරියටම කිව්වොත් මාතර මහ රෝහල අසලමයි.
මේක බැලූ බැල්මට කුඩාවට පෙනුනත් තුවක්කු රැගත් සේනාංක රඳවා තැබීමේ අදහස ඇතිව කොන් හයක් ඇති අද්විතීය හැඩයේ තාරකා කොටුව, මාතර කොටුවේ පරිපාලන කටයුතු හා ආරක්ෂක කටයුතු වඩාත් පුළුල් කිරීමේ අරමුණ ඇතිව නිර්මාණය කරලා තියෙනවා.තාරකා කොටුවේ ප්‍රවේශ දොරටුව ලන්දේසි යටත් පිරිත ගෘහ නිර්මාණ ශිල්පය පිළිබිඹු වන කදිම නිදසුනකි. VOC යන මුලකුරු ඉතා රමණීයව ලස්සන කරලා අර්ධ කවාකාර රවුමකින් ආරුක්කුවක් හැඩයට මුදුන නිර්මාණය කරලා තියෙනවා. ඒක උස්සගෙන ඉන්නේ හතරැස්කාර විශාල කණු දෙකක්. කොහොම හරි එක්සත් පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම නැත්තං Vereenigde Oast-Indiche Compagnie(VOC)ඕලන්දයින් විසින් පිහිටුවාගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1602 වසරේ.. මේක පෙරදිග රටවල්වල වෙළඳාම දියුණු කර ගැනීමට තමයි පිහිටුවල තියෙන්නෙ.තාරකා කොටුවේ ප්රවේශයේ වූ ආරුක්කුවේ VOC යන අක්ෂරවලට පහළින් Redoute Van Eck යනුවෙන් ඒකාලෙ හිටපු ආණ්ඩුකාරවරයාගේ නම තියෙනවා. ඒකට යටින් රාජකීය ලාංඡනය තියෙනවා. ඒක දෙපැත්තේ සිංහ රූප දෙකකුත් තියෙනවා. ඒකටත් පහළින් 1763 වර්ෂය සහL.J. V. E කියලා ආණ්ඩුකාරවරයාගේ මුල් අකුරුත් තියෙනවා.
සරලව ඔහොම තමයි කතාව. ඇත්තටම අද වෙද්දි මෙතන ශ්‍රී දකුණේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ශ්‍රී ලංකා නිර්මාණයක් නොවුනත් ලන්දේසිකාරයෝ හරි කදිමෙට කොටුව හදලා තියෙනවා. ඔයත් ඇවිල්ල බලන්නකෝ.ඇත්තටම අද ගොඩක් අය මෙතනට එන්නේ කෞතුකාගාරේ බලන්න.
මොකක් ! මෙතන කෞතුකාගාරයකුත් තියෙනවද ?
ඔව්! දේශීය, විදේශීය වශයෙන් මිනිස්සු ගොඩක් මෙතනට එනවා කෞතුකාගාරය බලන්න. ඒ ගැන කියනවනම්,
1990 දශකයේ චිත්‍ර කෞතුකාගාරයක් මෙහි ස්ථාපනය කරලා තියෙනවා . ඒ වගේම 2011 වසරේදී නෙදර්ලන්ත ආධාර යටතේ මාතර දිස්ත්‍රික් කෞතුකාගාරයක් ආරම්භ කරන්නට කටයුතු යොදලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අතීත මානවයා පිළිබඳ තොරතුරු. එනම් ප්රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික හා යටත් විජිත යුගයෙන් දක්වා සියලු අංශවලට අදාළ තොරතුරු ඇතුළත් කරන්නට මේ කෞතුකාගාරය ස්ථාපිත කරලා තියෙනවා කියලා තමා කියන්නේ. මේ කෞතුකාගාරයේ ප්‍රධාන මැදිරි දෙකක් සහ පොත් විකුණුම් ස්ථානයක්ද ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයක්ද තියෙනවා. ඒ විතරක් නෙවේ ගබඩා කාමරක් තියෙනවා. මේ ප්‍රධාන ස්ථානවල ඓතිහාසික වටිනාකමකින් යුක්ත භාණ්ඩ ගොඩක් තැන්පත් කරලා තියෙනවා.. ගිහිල්ලම බලන්න ඕනි ඉතින්. ඒ අතර තියෙන විශේෂම දේවල් මෙහෙම කියන්නම්.
මාතර දිසා කොඩිය,
ගොඩනැගිලි ආකෘති ( මාතර තාරකා කොටුව නූපෙ,ඕලන්ද වෙළඳසැල,දෙවුන්දර ගල්ගනේ දේවාලය )
විශේෂිත පුරාවස්තු උඩලිපත, කලය,බරණිය,කෙමිය සහිත කොතලය
ප්රාග් ඓතිහාසික ගුහා සිතුවම්
මිණිඇතිලියෙන් හමුවූ මානව ඇටසැකිල්ල
විවිධ මූර්ති බුදුපිළිමය, බෝධිසත්ව ප්‍රතිමා
අභිලේඛන පුස්කොළ පොත් ආදිය
කාසි,ලාංඡන, ලන්දේසි පිගන්
සුළු කලා ශිල්ප
හුණු කිල්ලෝටය, කිරිච්චිය, ඇද්දත් නිර්මාණ, මැටි බඳුන් වීදුරුබූලිය, පබළු වර්ග
එකී නොකී මෙකී තවත් ගොඩක් දේවල් මෙම තාරකා කොටුව ස්ථානයෙහි බලාගන්න පුළුවන්. දැව පාලම, සිතුවම්,වෙඩි බෙහෙත් ගබඩා, ප්‍රාකාර බැම්ම,මැද මිදුල මධ්‍යයේ වූ ළිඳ සුවිශේෂී ස්ථාන වේ.
වර්තමානය වන විට තාරකා කොටුව පිළිබඳව විවිධ පොත්පත් ලියවිලි ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් තවත් සවිස්තරාත්මක තොරතුරු හොයලා බලන්න. තාරකා කොටුව පරිශ්‍රයේ ප්‍රධාන කාර්යාලයෙන් ඔබට පුළුවන් එවැනි පොත්පත් මිලදී ගන්නත්.
කොහොම වුණත් ශ්‍රී දකුණෙන් අරන් ආපු මේ සුන්දර ස්ථානයත් එහි ඇති කෞතුක වස්තූත් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම අප කාගේත් යුතුකමක්.
Content Writer : Deshan Eranda




4 Comments
Good content.❤️
ReplyDelete🙏
DeleteExellent ❤️🥰
ReplyDelete🙏
Delete