Star Fort Matara මාතර තාරකා කොටුව

 


        මෙදා පාර ශ්‍රී දකුණෙන් අරන් ආවේ තවත් හරි අපූරු සුන්දර ස්ථානයක් පිළිබදවයි. ඒ තමයි මාතර තාරකා කොටුව.

කොහෙද මේක හරියටම තියෙන්නේ..?

මේ ස්ථානය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. හරියටම කිව්වොත් මාතර මහ රෝහල අසලමයි.



ඇයි ඉතින් මේකට තාරකා කොටුව කියලා කියන්නේ..?

       අහ්! මේක බැලූ බැල්මට තාරකාවක හැඩය ගන්න නිසා තමයි එහෙම කියන්නේ! මේකෙ වාස්තු විද්‍යාත්මක බිම් සැලැස්ම හදලා තියෙන්නේ තාරකාවක හැඩයට.
       ඒ උනාට එහෙම පේන්නේ නෑනේ, ඔව් ඉතින් ගුවන් ගතවෙලා බැලුවොත් තමා තාරකාවක හැඩේ හොඳටම දර්ශනය වෙන්නේ. ඒකට ඉතිං ගුවන්ගත වෙන්නම ඕනි නෑ මේකේ ආකෘතික සැලැස්ම පිළිබඳ තොරතුරු මෙම ස්ථානයේ සඳහන් වෙනවා.
 
එතකොට මේකේ ආරම්භක ඉතිහාසය ගැන ටිකක් සවිස්තරාත්මකව කිව්වොත්..?
            බැලූ බැල්මට බලකොටුවක් වගේ නේද පේන්නේ...? ඔව් ඒක හරි ලන්දේසි පාලකයන් මාතර කොටුවේ ආරක්ෂාව තර කරන්න තමයි මේ අපූරු තාරකා කොටුව හදලා තියෙන්නේ. ක්‍රි.ව.1763 දී මේක ඉදිකරලා තියෙන්නේ ලුබර්ට් යන් බාරොන් ෆන් ඒක්‌ නැමැති ආණ්ඩුකාරවරයා යටතේ. ඒ කාලේ ඉදිකිරීම් කටයුතු භාරව වැඩ කරල තියෙන්නෙ ප්‍රාදේශීය පාලකයෙක් වුණු ඔරුකෙම මොහුන්දිරම් කියන පුද්ගලයෙක්. මේකට Redoute Van Eck බලකොටුව කියලත් කියනවා.හැබැයි මේකෙ ජනප්‍රිය නාමය තමයි Six Pointed Star කියන්නේ.
         ක්‍රි.ව 1658 - 1796 දක්වා වසර 138ක් පැවති ලන්දේසි පාලනය අවසන්වත් ම මාතර ප්‍රදේශය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා තිබුණා. ඉංග්‍රීසි සභ්‍යත්වය පැතිරෙද්දී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට  වගේම මාතර ජනයාටද විවිධාකාරයේ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ක්‍රි.ව.1760 දී  ලන්දේසීන් පීඩිත ගොවීන්ගේ ඉඩම් කැබලි ලියාපදිංචි කළා. ඒවගේ අයිතීන් අවලංගු කරා ඒ වගේම බදුත් අය කරා. එකී නොකී මෙකී කාරණා නිසා කැරැල්ලක් හටගත්තා. ඒ නිසා  කි. ව.1761 දී උඩරට බලඇණි සහ කැරලිකාර ඉඩම් හිමියන් මාතර කොටුව යටත් කරගෙන එහි නතර වෙලා ඉඳලා තියෙනවා. කාලයක් තිස්සේ එහෙම නතර වෙලා ඉදලා  මේ උදවිය. ක්‍රි.ව.1962 දී පෙබරවාරි මාසයේදී ආයෙ ලන්දේසීන් විසින් මාතර අල්ලාගෙන තියෙනවා. ආරක්ෂක කටයුතුවල දුර්වලතා දැකපු ලන්දේසීන් මාතර ලන්දේසි සේනා ශක්තියේ වඩාත් ශක්තිමත් කරන්නට නිල්වලා ගඟේ බටහිර ඉවුරේ තාරකා කොටුව ක්‍රි. ව.1763 දී නිම කරලා තියෙනවා කියලා දොරටුවේ සඳහන් වෙනවා.

     මේක බැලූ බැල්මට කුඩාවට පෙනුනත් තුවක්කු රැගත් සේනාංක රඳවා තැබීමේ අදහස ඇතිව කොන් හයක් ඇති අද්විතීය හැඩයේ තාරකා කොටුව, මාතර කොටුවේ පරිපාලන කටයුතු හා ආරක්ෂක කටයුතු වඩාත් පුළුල් කිරීමේ අරමුණ ඇතිව නිර්මාණය කරලා තියෙනවා.තාරකා කොටුවේ ප්‍රවේශ දොරටුව ලන්දේසි යටත් පිරිත ගෘහ නිර්මාණ ශිල්පය පිළිබිඹු වන කදිම නිදසුනකි. VOC යන මුලකුරු ඉතා රමණීයව ලස්සන කරලා අර්ධ කවාකාර රවුමකින් ආරුක්කුවක් හැඩයට මුදුන නිර්මාණය කරලා තියෙනවා. ඒක උස්සගෙන ඉන්නේ හතරැස්කාර විශාල කණු දෙකක්. කොහොම හරි එක්සත් පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම නැත්තං Vereenigde Oast-Indiche Compagnie(VOC)ඕලන්දයින් විසින් පිහිටුවාගෙන තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1602 වසරේ.. මේක පෙරදිග රටවල්වල වෙළඳාම දියුණු කර ගැනීමට තමයි පිහිටුවල තියෙන්නෙ.තාරකා කොටුවේ ප්‍රවේශයේ වූ ආරුක්කුවේ VOC යන අක්ෂරවලට පහළින් Redoute Van Eck යනුවෙන් ඒකාලෙ හිටපු ආණ්ඩුකාරවරයාගේ නම තියෙනවා. ඒකට යටින් රාජකීය ලාංඡනය තියෙනවා. ඒක දෙපැත්තේ සිංහ රූප දෙකකුත් තියෙනවා. ඒකටත් පහළින් 1763 වර්ෂය සහL.J. V. E කියලා ආණ්ඩුකාරවරයාගේ මුල් අකුරුත් තියෙනවා.

        සරලව ඔහොම තමයි කතාව. ඇත්තටම අද වෙද්දි මෙතන ශ්‍රී දකුණේ ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ශ්‍රී ලංකා නිර්මාණයක් නොවුනත්  ලන්දේසිකාරයෝ හරි කදිමෙට  කොටුව හදලා තියෙනවා. ඔයත් ඇවිල්ල බලන්නකෝ.ඇත්තටම අද ගොඩක් අය මෙතනට එන්නේ කෞතුකාගාරේ බලන්න.

 මොකක් ! මෙතන කෞතුකාගාරයකුත් තියෙනවද ?

ඔව්! දේශීය, විදේශීය වශයෙන් මිනිස්සු ගොඩක් මෙතනට එනවා කෞතුකාගාරය බලන්න. ඒ ගැන කියනවනම්,


  1990 දශකයේ චිත්‍ර කෞතුකාගාරයක් මෙහි ස්ථාපනය කරලා තියෙනවා . ඒ වගේම 2011 වසරේදී නෙදර්ලන්ත ආධාර යටතේ මාතර දිස්ත්‍රික් කෞතුකාගාරයක් ආරම්භ කරන්නට කටයුතු යොදලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අතීත මානවයා පිළිබඳ තොරතුරු. එනම් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික හා යටත් විජිත යුගයෙන් දක්වා සියලු අංශවලට අදාළ තොරතුරු ඇතුළත් කරන්නට මේ කෞතුකාගාරය ස්ථාපිත කරලා තියෙනවා කියලා තමා කියන්නේ. මේ කෞතුකාගාරයේ ප්‍රධාන මැදිරි දෙකක් සහ පොත් විකුණුම්  ස්ථානයක්ද ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකයක්ද තියෙනවා. ඒ විතරක් නෙවේ ගබඩා කාමරක් තියෙනවා. මේ ප්‍රධාන ස්ථානවල ඓතිහාසික වටිනාකමකින් යුක්ත භාණ්ඩ ගොඩක් තැන්පත් කරලා තියෙනවා.. ගිහිල්ලම බලන්න ඕනි ඉතින්. ඒ අතර තියෙන විශේෂම දේවල් මෙහෙම කියන්නම්.

 මාතර දිසා කොඩිය,

 ගොඩනැගිලි ආකෘති ( මාතර තාරකා කොටුව නූපෙ,ඕලන්ද වෙළඳසැල,දෙවුන්දර ගල්ගනේ දේවාලය )

 විශේෂිත පුරාවස්තු උඩලිපත, කලය,බරණිය,කෙමිය සහිත කොතලය

 ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්

 මිණිඇතිලියෙන් හමුවූ මානව ඇටසැකිල්ල

 විවිධ මූර්ති බුදුපිළිමය, බෝධිසත්ව ප්‍රතිමා

 අභිලේඛන පුස්කොළ පොත් ආදිය

 කාසි,ලාංඡන, ලන්දේසි පිගන්

 සුළු කලා ශිල්ප

 හුණු කිල්ලෝටය, කිරිච්චිය, ඇද්දත් නිර්මාණ, මැටි බඳුන් වීදුරුබූලිය, පබළු වර්ග

       එකී නොකී මෙකී තවත් ගොඩක් දේවල් මෙම තාරකා කොටුව ස්ථානයෙහි බලාගන්න පුළුවන්. දැව පාලම, සිතුවම්,වෙඩි බෙහෙත් ගබඩා, ප්‍රාකාර බැම්ම,මැද මිදුල මධ්‍යයේ වූ ළිඳ සුවිශේෂී ස්ථාන වේ.

  වර්තමානය වන විට තාරකා කොටුව පිළිබඳව විවිධ පොත්පත් ලියවිලි ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් තවත් සවිස්තරාත්මක තොරතුරු හොයලා බලන්න. තාරකා කොටුව පරිශ්‍රයේ ප්‍රධාන කාර්යාලයෙන් ඔබට පුළුවන් එවැනි පොත්පත් මිලදී ගන්නත්.

   කොහොම වුණත් ශ්‍රී දකුණෙන් අරන් ආපු මේ සුන්දර ස්ථානයත් එහි ඇති කෞතුක වස්තූත් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීම  අප කාගේත් යුතුකමක්.





ආශ්‍රිත මූලාශ්‍ර  : අදාළ පරිශ්‍රයට ගොස් අධීක්ෂණය මගින් ගත් තොරතුරු,මාතර තාරකා කොටුව කෞතුකාගාරය, වසන්තා අලහකොන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව -2017

Content Writer : Deshan Eranda

Post a Comment

4 Comments

 Kushtarajagala Weligama වැලිගම කුෂ්ඨරාජගල