සිංහල බෞද්ධ ජනයා වැඩි වශයෙන් වාසය කරන ශ්‍රී දකුණේ තියෙන බොහෝ දෙනා දන්න තැනක් තමයි මේ ඓතිහාසික ස්ථානය. මේ පුදබිම තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ මධ්‍යයට වන්නට. මාතර ටවුන් එකට යන ඕනම කෙනෙක්ට පහසුවෙන්ම සොයාගන්න පුළුවන්. අනික ප්‍රධාන පාර අයිනෙමනෙ තියෙන්නෙත්. ඒ කියන්නේ හරියටම කිව්වොත් කොළඹ කතරගම මහා මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගනයට මුහුණලා.
මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ මාතර ජනතාවගේ පමණක් නොවෙයි නගරය පහු කරගෙන දිනපතා යන එන සුවහසක් ජනයාගේ අප්‍රමාණ බොදු බැතියට ලක්වෙන විරාජමාන බොදු බිමකි.
මාතර බෝධීන් වහන්සේගේ ඉතිහාසය අනුරාධපුර යුගයට විහිද යනවා. මාතර මෙය රෝපණය කරලා තියෙන්නේ අනුරාධපුර යුගයේ රජ කළ මහා කවි කුමාරදාස (ක්‍රි. ව. 508- 518) රජතුමාගේ කාලයේදී බව සඳහන් වෙනවා.
මේ බෝධිය රෝපණය වීම පිටුපස හරි අමුතු කතාවක් සැඟවිලා තියෙනවා.
කුමාරදාස රජතුමාගේ නොදුටු මිතුරෙකු වූ ඉන්දියාවේ සිටි පැමිණි කාලිදාස නම් වූ කවියාණන් අභිසරු ලියනක් නිසා මරණයට පත්වීමෙන් පසු ඒ කවියාගේ චිතකයට පැන රජතුමාද සිය දිවි පූජා කර ඇති බව සඳහන් වෙනවා. එය ඉවසාගත නොහැකි වූ බිසෝවරු පස්දෙනා ද එම චිතකයට පැන ඇත. ජනශ්‍රැතියෙහි සදහන් වන විදියට ඒ සත්දෙනා දැවූ සොහොන මට අනුවේදනීය සිද්ධිය සිහිපත් වීමට බෝධීන් රෝපණය කරලා තියෙනවා. මෙම බෝධීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගෝත්‍රයට අයත්වන බව උද්භිද විද්‍යාඥයින්ගේ පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම මෙම බෝධීන් වහන්සේලා වැඩ ඉන්න භූමි ප්‍රදේශය "හත් බෝධි වත්ත" කියලා හඳුන්වනවා. ඒ කියන්නේ බිසෝරු පස්දෙනාට බෝධීන් පහකුත් පඬිතුමාට හා රජුට තවත් බෝධීන් වහන්සේලා දෙකකුත් මෙතන රෝපණය කරලා තියෙනවා කියන එක.
මෙහි ප්‍රධාන බෝධිය වර්තමාන ඓතිහාසික මාතර බෝධිය වන අතර ඉන් එක් බෝධියක් නූපේ මංසන්ධියේද, තවත් එකක් හුණුකොටුව හන්දියේද, තවත් බෝධියක් හක්මන පාරේ හන්දියේ ද,තවත් එකක් කොටුවේගොඩද රෝපණය කරලා තියෙනවා.
ඒත් සමහර වියතුන් මෙකී කාරණය පිළිගන්නේ නැහැ. සමහරු මෙම බෝධීන් වහන්සේලා මාතර නොව අනුරාධපුරයට නුදුරු හත්බෝධි වත්තේ බව කියනවා. අනුරාධපුරයේ රජ කරපු රජෙක් මෙතරම් දුරක් ගෙවා මාතරට පැමිණීම විශ්වාස කළ නොහැකි බව ඔවුන්ගේ මතයයි. ඒවගේම තවත් මතයක් තමයි කුමාරදාස රජතුමා හමුවීමට පැමිණියේ මහා කවි කාලිදාස නොව කුමාර කාලිදාස කවියා බවය.
එහෙත් පූජාවලී කතුවරයා කුමාරදාස රජතුමා මාතර දිස්ත්‍රික්කයේ මාකාවිට, ඇල්ලේ කන්ද, දන්දෙණිය වැව ගොඩ යන වැව් කරවූ බව සඳහන් කර තිබීමෙන් එ රජතුමා මාතර වාසය කළ බව තවදුරටත් සනාථ වෙනවා. ඒවගේම ලංකාවේ එකොළොස් වසක් යන බැවින් ග්‍රන්ථයක් ලියූ මේජර් ෆෝබර්ස් සඳහන් කරන්නේද මෙම හත් බෝධීන් මාතර පිහිටි බවයි.
පසුකාලීනව මෙම ස්ථානයට බ්‍රිතාන්‍ය ජනයාගෙන් තර්ජන ඇතිව තිබෙන බවට සඳහන් වෙනවා. එක් අවස්ථාවකදී වෙළඳ මධ්‍යස්ථානයක් වූ මාතර නගරයේ එවක ආදායම් නිලධාරීව සිටි සුදු කපිතාන්වරයා නගර සභා භූමිය පුළුල් කිරීමටත් බෞද්ධයන්ට මාතර දී පාඩමක් ඉගැන්වීමටත් සිතා බෝධිය කැපීමට නියෝග කිරීම මහත් කතාබහට ලක් වූ සිදුවීමකි.මේ හේතුවෙන් එවකට සිංහලයා අතර දැඩි විරෝධයක් හටගන්නට විය. කෙසේ නමුදු යම් කලාකාරී තත්ත්වයක් උත්සන්න වී බෝධිය කැපීම නතර විය. මේ සඳහා මාතර මහවීදියේ වෙළෙඳ මහතුන් සහ එවකට මාතර නගර සභාවේත්, පොලිසියේත් සිටි බෞද්ධ නිලධාරීන් හා සේවක පිරිස් පෙරමුණ ගෙන ඇත.
මෙම සිද්ධියෙන් පසුව බුද්ධ ප්‍රතිමාවක් මෙම ස්ථානයට වඩම්මවා වන්දනාමාන කෙරුණු බවට සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1933-1962 වර්ෂය දක්වා මහා වීදියේ පින්වතුන් සෙසු අයගේද ආධාර ඇතිව විදුලි සැපයීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් බුදු මැදුරක් සහ දේවාල මැදිරි යුගලයක් තනවා ඇත.වර්ෂ 1961 දී මාතර කේ. ටී සෝමපාල, සී.ඒ.ධර්මසේන,ආර්. පී. පෑලිස් යන මහත්වරු ස්වකීය ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක්ද ගොඩනැගීමට පටන්ගෙන ඇත. නමුදු මෙම ස්ථානය රජය සතු භූමියක් නිසා මාතර විශේෂ කොමසාරිස් මහතාගේ විරුද්ධත්වය ඊට පුරෝගාමී වූවන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ටද එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අසීරු වූ බැවින් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මහා භාරකාර හමුව කළ සාකච්ඡාවෙන් මෙම ස්ථානය බෞද්ධ සංස්කෘතික ආයතනයකට පැවරිය යුතු යැයි ගනු ලැබූ තීරණය මත මාතර දිසාපතිතුමා බෝධි ස්ථානයේ කටයුතු වල යෙදුණු බෞද්ධයන් රැස් කරවා ක්‍රි. ව 1963 ඔක්තෝබර් 19 වැනිදා බෝධි ආරක්ෂක සභාව පිහිටුවලා තියෙනවා . මෙම සභාවේ ව්‍යවස්ථාවන් සලකා මහා භාරකාර තුමාගේ ද අනුමැතිය පරිදි බෝධි ආරක්ෂක සභාවට මෙම බෝධිය පිහිටි අවට භූමි භාගය දිසාපතිතුමා විසින් පවරා දෙන ලද්දෙන් බෝ මළුව වටා අත්පුවරුවක් පහන් කුළුණු තනවා මාරගස් ඉවත්කොට බෝධි අංගනය දැකුම්කලු ස්ථානයක් බවට දියුණු කර ඇත. මෙහි චෛත්‍යයේ ධාතු නිධානෝත්සවය ක්‍රි. ව 1965 සැප්තැම්බර් 05 වැනිදා අස්ගිරි පාර්ශවයේ අතිගරු අනුනායක මාහිමි අතින් සිදුවී ඇත.
ඒ අනුව මෙලෙස පිහිටවූ මාතර බෝධි ආරක්ෂා සභාව අද වන විට සමාජ සේවා රැසකට උරදෙමින් කටයුතු කරනු ලබයි. ඒ අතර අනුස්මරණීය සේවා කිහිපයක් නම්, මාතර මූලික රෝහලට වාට්ටු තුනකින් යුතු තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සහාය වීම.ඒවායේ සියළු නඩත්තු සහ දිනපතා පිරිසිදු කිරීම ආදිය බෝධි ආරක්ෂක සභාව මගින්ම සිදු කරනු ලැබේ, මූලික රෝහලේ නොමැති බෙහෙත් වර්ග මිලට ගැනීමට අපහසු රෝගීන්ට ඒවා ලබා ගැනීමට වැඩපිළිවෙළක් යොදා තිබීම.
බෝධි ආරක්ෂක සභාව සිදු කරනවා තවත් සමාජයේවාවක් වන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් වූ "සෙවණ"සරණ මාපිය කැපකරු ක්‍රමය සඳහා අවුරුදු හයකට වරක් අසරණ ළමුන් 90ක් සඳහා රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් පරිත්‍යාග කිරීම යි. ඒ හැරුණු කොට ආබාධිතයන්ට රෝද පුටු පරිත්‍යාග කිරීම, ඇස් කන්නාඩි සැපයීම, බෞද්ධාගමිකයන්ට සීල රෙදි සැපයීම, දහම් පාසල් හා සාමණේර විභාග සදහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරදීම, උත්තර පත්‍ර ලිවීම් සඳහා ලිපි ද්‍රව්‍ය සැපයීම, සිල් මාතාවන් උදෙසා ආගමික පාඨමාලාවක් පවත්වාගෙන යාම අධ්‍යාපන සේවාවන් අතර වේ.
ඊට අමතරව ආගමික දිනයන් වෙනුවෙන් හා මාතර නගරයට පැමිණෙන සිල් මාතාවන්ට ආහාර පානාදිය හා නේවාසික පහසුකම් සැපයීමටද කටයුතු කිරීම. සේවාවන් අතර ප්‍රධාන වේ.
මෙවැනි බොහෝ සමාජ සුභසාධන කටයුතු දියත් කරමින් මාතර ප්‍රදේශය අවට ජනයාට සහාය වන්නට වර්තමානයේදීත් මාතර බෝධි ආරක්ෂක සභාව කටයුතු කරනවා.



8 Comments
Superb
ReplyDelete🙏
Deleteවටින ලිපියක්
ReplyDelete🙏
DeleteThis comment has been removed by the author.
DeleteGood job ❤
ReplyDelete🙏
Deleteඉතා වැදගත් මේ කරුණු ❤️🔥
ReplyDelete