ශ්‍රී දකුණෙන් අදත් ඔන්න කතා කරන්න යන්නේ බොහොම සුන්දර ආගමික සිද්ධස්ථානයක් පිළිබඳවයි. මාතර දිස්ත්‍රික්කයේ කනංකේ ගම්මානයේ තමයි මේ අගනා පුදබිම පිහිටලා තියෙන්නේ. හරියටම කිව්වොත් ගාල්ල - අකුරැස්ස ප්‍රධාන මාර්ගය අසල. ඒ කියන්නේ ඒ මාර්ගයේ හමුවෙන පොල්වත්ත ගඟ පහු කරලා පොඩ්ඩ දුරක් ගියාම මේ ඓතිහාසික ස්ථානයට ළඟා වෙන්න පුළුවන්.
ඉතා පැරණි ගම්මානයක් වන කනංකෙ ග්‍රාමයට ආසන්නව පිහිටි 'කනකගිරි' කියන පර්වතය නිසා මේ ගමට මේ නම යෙදුනා කියලා වැසියන් විශ්වාස කරනවා. එහි පෝරඹ කනංකේ සහ වාහල කනංකේ කියලා කොටස් දෙකකි. ඒ වගේම වාහල කනංකෙ ගම්මානයේ පැරණි රජ වාසලක් තිබුන කියල ගොඩක් අය විශ්වාස කරනවා. එය කඹුරුපිටියේ වනරතන හිමි ද සනාථ කරලා තියෙනවා.
විහාරස්ථානයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වාම දිව යනවා. මේ වෙහෙර 'කනංකෙ ගණේගොඩ වෙහෙර' නමිනුත් හඳුන්වනවා. විහාරයේ සංඝාවාස, ධර්ම ශාලා ආදී ගොඩනැගිලි එක් තැනකද ත්‍රිවිධ චෛත්‍යය ඇතුළු ගොඩනැගිලි තවත් තැනකද ප්රාකාරයකින් වටව ද අපිට දැකගන්න පුළුවන්. ඒවගේම මෙම පරිශ්‍රය අවටින් හමු වූ පුරාවස්තු තැන්පත් කර ප්‍රදර්ශනය කරන්නට එහි මණ්ඩපයක් ද නිර්මාණය කරලා තියෙනවා.
විහාර මන්දිරය 18-19 සියවස් වල සම්ප්රදාය අනුව ගර්භ දෙකකි. පිටත ගර්භය සම්පූර්ණ නැති අතර එය බිත්තියකින් බෙදා එක් කොටසක සූවිසි විවරණය ද අනෙක් පැත්තේ සත් සතිය ද නිරූපණය කරලා තියෙනවා. එය සුවිශේෂී පිහිටීමක් ලෙස අපට හඳුනාගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගැබට පිවිසීමට රමණීය අලංකාර මකර තොරණක් ද අභ්‍යන්තරයේ ප්‍රධාන හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද වැඩ වාසය කරනවා.
මෙම අග්‍රගණ්‍ය විහාරස්ථානයේ ආරම්භක දිනය හරියටම කියන්න බැරි වුනත් බොහෝ දෙනාගේ මතය වෙන්නේ මෙය වසර 100 කට පෙර නිර්මාණය වුණා කියලා.ඒවගේම මෙහි ශෛලීන් කිහිපයකටම සිතුවම් හා ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා බලන්න පුළුවන්.වියන් සිතුවම් හා ඇතුළු ගැබේ සිතුවම් මහනුවර ශෛලිය ගන්නා අතර පිටත ගැබේ සිතුවම් ඇතුළු තවත් කොටසක් 20 වන සියවසේ මුල් භාගයේ යුරෝපීය ආභාසය සහිත කලාව නිරූපණය කරනවා.ඒ වගේම යුරෝපීය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත දිව්‍ය විමාන,යුරෝපීය මල්ලියකම් ආදිය ද දැකගන්න පුළුවන්. ඒ වගේම අඳිමින් තිබූ අසම්පූර්ණ සිතුවම් ද එක් බිත්තියක තියෙනවා.පිළිමගේ ඉදිරිපස දාගැබ් වහන්සේ පිහිටා ඇති අතර ඒ වටා ඇති ගල් කණු අතීතයේ පැවති යම් පියස්සක ශේෂ බව අපට සිතිය හැක. බෝධීන් වහන්සේ ද මළුවේ පසෙකින් වැඩ සිටිනවා.
මෙම විහාරස්ථානයේ ඉතිහාසගත පුරාවස්තු පිළිබඳ සලකද්දී 'සිරි පතුල් ගල' සහ 'පැරැණි බුද්ධ ප්‍රතිමා ශේෂ' කොටස ඉතා සුවිශේෂී වෙනවා. මෙම විහාරයේ දැකගන්න පුළුවන් ඡත්රයක් ද එස වූ සිරිපතුල් ගල අනුරාධපුර යුගයට අයත් බව හරියටම කියන්න පුළුවන්. එමෙන්ම ප්‍රතිමාව ද අනුරාධපුර යුගයට අයත් හිටි බුද්ධ ප්‍රතිමාවක් බව සිතිය හැක. ඊට අමතරව සඳකඩ පහණ දෙකක් ද මෙම විහාරයේ තියෙනවා.ඒවා අයිති යුගය නිශ්චිතවම කියන්න නම් දන්නේ නෑ.
ඒ වගේම වනරතන හිමි පවසන ආකාරයට හක්මන උමංගල රජමහා විහාරයේ සෑය අසළින් ලැබුණු ගඩොල් වලට සමාන අනුරාධපුර යුගයට අයත් ගඩොල් මේ ස්ථානයෙන් හමුවෙලා තියෙනවා. උමංගල රජමහා විහාරය 'පළමු දෙටුස් රජතුමාගේ' කෘතියක් ලෙස සැලකෙන එකී සමානාත්මතාවය මෙම පුදබිම ද ඒ ආසන්න කාලයේ ගොඩනැගූවක් බවට අපට අනුමාන කරන්න පුළුවන්.
ඊට අමතරව මෙම පුදබිම සම්බන්ධයෙන් ලැබෙන සුවිශේෂිතම සාක්ෂිය තමයි 'පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් සෙල්ලිපිය' එහි සයවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් සුනේත්‍රා දේවි පිරිවෙන් රජමහා විහාරයට පිදූ ඉඩම් පිළිබඳව කෙරෙන විස්තරයේ "වැලිගම් දසගමුවබද කනංකයේ විහාරයට පිදූ ඉත්තවල පාබතලාවල දම්ලියද්ද තැඹිලිහිර ඇතුළුවූ කුඹුරුබිජුවට පසමුණක් හා... " යනුවෙන් සඳහන් වෙන්නේ මෙම විහාරස්ථානය වෙන්න ඕනි.
ඒ අනුව අනුරාධපුර යුගයේදී ආරම්භ වුණු මෙම විහාරය කෝට්ටේ යුගය දක්වාම සක්‍රීයව පැවතිලා තියෙනවා. ඒ කාලේ පැපිලියානේ පිරිවෙන් අධිපතිව සිටියේ ඇත්තේ ගල තුරුමුල භික්ෂු අධ්‍යාපන මූලයයි. ඒ කියන්නේ මෙම විහාරය ගලතුරුමුල හෙවත් සේලාන්තරායතනයට අයිති පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනටද සම්බන්ධ විහාරයක් කියල අපට හිතන්න පුළුවන්. පසුකාලීනව කෝට්ටේ යුගයේ පරිහානියත් සමගම මෙම ප්‍රදේශයටද පෘතුගීසීන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වන්නට සිදු වුණා. ඒ හරහා මෙම විහාරයද අභාවයට යමින් තිබුණා. ඒ වුණාට මේක යළිත් පණ ගන්වන්නට අඟලකඩ සඟ පරම්පරාවේ නිර්මාතෘ වුණු පූජ්‍ය අගළකඩ ධම්මරක්ඛිත නාහිමියන්ගේ වැඩමවීම සුවිශේෂී වෙනවා. උන්වහන්සේ මෙම ස්ථානයේ කාලයක් වැඩ වාසය කරලා තියෙනවා. එහිදී රජවාසලින් ලැබුණු ඇත් දත් පිළිමයක් ඇතුළු රාජදෙය්ය පූජා වස්තූන් කිහිපයක් ද විහාරයේ තැන්පත් කරලා තියෙනවා.ඊට පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය මොරවක සීලරතන නාහිමි තත් ශිෂ්‍ය ගල්ලල රේවත නාහිමි සහ තත්ශිෂ්‍ය මාවැල්ලේ මේධංකර නාහිමි යන ස්වාමීන් වහන්සේලා මෙම වෙහෙර හොබවන්නට දියුණු කරන්නට උත්සාහ අරන් තියෙනවා. පසුව මෙම විහාරයේ විහාරාධිපතිත්වය දැරූ කනංකෙ ශ්‍රී ඤාණාලෝක නාහිමියන්ගේ ශිෂ්‍ය කනංකෙ විමලඤාන හිමියන් වර්තමානයේ දී මෙම විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපතීත්වය හොබවනවා.
ඉතින් රාජකීය විහාරයක් ලෙස ප්‍රදේශයේ බෞද්ධ ජනයාගේ නිරන්තර ගෞරවාදරයට මෙම විහාරය පත්වෙනවා. මේ ලිපිය බලන මගේ යාළුවොත් පුළුවන් දවසක ඇවිල්ලා වන්දනාමාන කරලා යන්නකෝ එහෙනම්,.
Content Writer : Deshan Eranda




ආශ්රිත මූලාශ්‍ර :-
Inscriptions Of Ceylon (Volume VIII) Prof.Mendis Rohanadeera
අඟලකඩ මහ ස්වාමී චරිතය - පූජ්‍ය කතලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ
මාතර පුරාවිද්‍යාත්මක ඉතිහාසය - පූජ්‍ය ආචාර්ය කඹුරුපිටිය වනරතන ස්වාමීන් වහන්සේ
අරණ පුවත්පත 07


12 Comments
Excellent
ReplyDelete🙏
DeleteGreat one.. 👍
ReplyDelete🙏
DeleteExcellent
ReplyDelete🙏
DeleteGood job
ReplyDelete🙏
DeleteNice article keep it up bro ❤
ReplyDeleteThank you
Delete🙏❤️🔥
ReplyDeleteThank you !
Delete