Kushtarajagala Weligama වැලිගම කුෂ්ඨරාජගල



ශ්‍රී දකුණ හරහා නිරන්තරයෙන් අප උත්සාහ කරන්නේ අභිමානවත් රුහුණු රටේ සුන්දරතම වටිනාකම් ඔබ හා බෙදා ගන්නටය. අදත් අපි යන්න හදන්නේ එවැනි සැගවුණු ඓතිහාසික වටිනාකමක් තියෙන අපූරු තැනකට. මේ ස්ථානය පෙර අප ශ්‍රී දකුණ හරහා ගෙන ආ "වැලිගම අග්‍රබෝධි රජමහා වෙහෙර" බිමට බොහෝ සෙයින් නෑකම් කියනවා. මේ තමයි වැලිගම කුෂ්ටරාජගල. එහෙම නැත්නම් බොහෝ දෙනා හඳුන්වන අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව. වැලිගමට සමීප භූමි භාගයක පිහිටා තිබෙන මෙම ස්ථානය නිරතුරුව ස්වදේශකයන්ගේ සේම විදේශිකයන්ගේ පැසසුමට ලක්වෙනවා.කෙසේ නමුත් මේ තැන ගැන ජනයා විවිධ වූ මත අදහස් පල  කරනවා..ඒ හේතුව මත ශ්‍රී දකුණ තීරණය කලා මේ ඓතිහාසික ස්ථානයටත් ගිහින් වැඩි දුර තොරතුරු ගවේෂණය කරන්න.


වැලිගම යනු අනුරාධපුර යුගයේ පටන් පැවති පුරාණ නැව් තොටකි.ඒ හේතුවෙන් මේ ස්ථානය පිළිබඳව පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල ද තොරතුරු සඳහන් වෙනවා. සිංහල බෝධිවංශයට අනුව අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට අයත් දෙතිස්ඵලරුහට අයත් එක් ශ්‍රී මහා බෝධි වෘක්ෂයක් වැලිගම අග්‍ර බෝධි විහාර බිමේ රෝපණය කරලා තියෙනවා.එනම්, එම බෝධීන් වහන්සේ ප්‍රථම බෝධිය යි.මේ පිළිබඳ වැඩි විස්තර පෙර ශ්‍රී දකුණෙන් ගෙන ආ අග්‍රබෝධි විහාර   කතාවේ සඳහන් කරලා තියෙනවා.

ස්වභාවික ගල් පර්වතයක පිහිටි ගලින්ම උන්නත රූපයක් ලෙස මෙම ප්‍රතිමාව නෙළා තිබීම මෙහි ඇති විශේෂත්වයක්‌ වෙනවා. ඒ වගේම පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමාව ද පිහිටි ගලෙහි නිර්මාණය කර ඇති බව අප මතකයට එන්නකි. කෙසේ නමුදු වැලිගම කුෂ්ඨරාජගල ප්‍රතිමාව ද අවලෝකිතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස හඳුනාගන්න පුළුවන්.මෙම ප්‍රතිමාවෙහි දකුණු අත විතර්ක මුද්‍රාවද වම් අත ආහ්වාන මුද්‍රාවද නිරූපණය කරනවා. ඊට අමතර තවත් විශේෂත්වයන් ගොඩක් තියෙනවා..

ඇත්තටම ඇයි කුෂ්ඨරාජගල කියන්නේ...?
       මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී විවිධ පුද්ගලයන් විවිධ මත අදහස් දක්වා තියෙන බව හඳුනාගන්නට පුළුවන් වුණා. ඒ අතර එක ප්‍රධාන මතයක් වන්නේ කුෂ්ඨ රෝගය වැළඳුණු පැරැණි රජ කෙනෙක් තම රෝගය සුව කර ගැනීමට වූ පොරොන්දුවක් හෙවත් භාරයක් ඔප්පු කිරීම සඳහා මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇති බවයි.

ඒවගේම වැලිගම කියන්නේ වරාය නගරයක්. ඈත අතීතයේ පටන් පුරාණ වරායවල් අසල මෙවැනි අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිම වැඳුම් පිදුම් කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම නාවික යාත්‍රාවල ගමන් කරන අයගේ ආරක්ෂාව උදෙසා මෙලෙස වන්දනාමාන කර ඇති බව පුරාණ කතා වල සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශවල වරාය මූලික කර ගනිමින් නිර්මාණය වූ මෙවැනි ප්‍රතිමා හමුවෙලා තියෙන අතර මෙම කුෂ්ඨරාජගල  ප්‍රතිමාවද මුහුණලා ඇත්තේ වැලිගම වරායටය. ඊට අමතර තවත් බොහෝ බෝධිසත්ව ප්‍රතිමා ලංකාදීපයේ බොහෝ ප්‍රදේශවලින් හමුවී ඇති  නමුත් වැලිගම කුෂ්ටරාජගල ප්‍රතිමාවෙහි සමාධි බුද්ධ ප්‍රතිමා සතරක්ම ජටා මකූඨයෙහි මූර්තිමත් කර තිබීම එහි ඇති විශේෂත්වයකි.
මෙම කුෂ්ඨරාජගල මූර්තිය මගින් නිරූපණය කරන්නේ නාථ දෙවියන් යැයි මතයක් ඇති අතර අවලෝකිතේෂ්වර නාථ දෙවියන් පිදීම රෝග ව්‍යාධි සමනය කිරීමට හේතුවන බව බොහෝ දෙනාගේ මතයයි. ඒ පිළිබඳව  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද මත අදහස් පළ කරලා තියෙනවා.
මෙම කුෂ්ඨරාජගල ප්‍රතිමාව හා අග්‍රබෝධි විහාරය එකම බිම්කඩක පුරාණයේ පිහිටා තිබූ නමුත් පසුකාලීනව එනම් බ්‍රිතාන්‍ය යුගයේ දී සාදන ලද දුම්රිය මාර්ගය හේතුවෙන් මෙම පුදබිම අද වන විට දෙකඩ වෙලා තියෙනවා. ඒ හේතුවෙන් මෙම පුදබිම එකක් ලෙසින් පුරාණ කාලයේදී පැවති බව ඉතිහාස කතා  අනුව ද පැහැදිලිය.
ඔන්න ඕකයි වැලිගම කුෂ්ඨරාජගල කතාව. අභිමානවත් දකුණු පුරවරයේ සැඟවුණු මෙවැනි අග්‍රගන්‍ය තැන් ඔයාලත් දන්නවනම් පහළින් කමෙන්ටුවක් දාන් යන්න..

Content Writer : Deshan Eranda

ආශ්‍රිත මූලාශ්‍ර : බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිශ්‍රයට ගොස් අධ්‍යයනය


Post a Comment

15 Comments

 Kushtarajagala Weligama වැලිගම කුෂ්ඨරාජගල